‘දන්වන්තරි’ ආයුර්වේදය හි දෙවියා |
ආයුර්වේදය යන්නෙහි අදහස
ආයුෂ පවත්වා ගෙන යාමේ විද්‍යාව යනු ආයුර්වේදය යන්නෙහි අදහසයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවාරණය පදනම් කර ගත්තකි. එහි ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඇවතුම් - පැවතුම් ක්‍රම හා වත් පිළිවෙත් ද පවතී. හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයන්ට ගොදුරු නොවන පරිදි කායික - මානසික දෙ අංශයෙන්ම සුවදායී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගෙන යාම ආයුර්වේදය මගින් අදහස් කෙරේ. आयु़्रश्मिन् विद्य तेनेनवा आयुर् विन्दतिति आयुर्वेद: ආයුෂ පිළිබද ඉගැන්වන බැව්න් ආයුර්වෙදය නම් වේ.
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ මූලාශ්‍ර
ඓතිහාසික ග්‍රන්ථ හා පුරා විද්‍යාත්මක සාධක යනාදිය ඉපැරණි ශ්‍රී ලංකාවේ දියුණු,ව්‍යාප්ත එමෙන්ම විධිමත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් පැවති බව සනාථ කරයි.
ඓතිහාසික ග්‍රන්ථ - මහාවංශය
ආරෝග්‍යශාලා ඉදිකිරීම, ඖෂධ හා ආහාර පාන වැනි දෑ සම්පාදනය කිරීම පිළිබඳ ව මහාවංශයෙහි තොරතුරු දැක්වේ.පුරාවිද්‍යාත්මක සාධක
සිංහල ශිලා ලේඛන
මුල් කාලීන බ්‍රාහ්මී ශිලා ලේඛන වල මේ පිළිබඳ ව සඳහන් නොවේ. නමුත් සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගෙන යාම,නිරෝගී සම්පත ආදී කරුණු පිළිබඳ ව මෙන්ම ආරෝග්‍යශාලා පිහිටුවීම හා සම්බන්ධ කරුණු ද සිංහල ශිලා ලේඛන මගින් දක්වයි.උදාහරණමැදිරිගිරිය ආරාම සංකීර්ණයේ පිහිටි ආරෝග්‍යශාලාව සම්බන්ධ නීති රීති දක්වන vi මිහිඳු රජුගේ මැදිරිගිරිය පුවරු ලිපියiv වන දප්පුල රජු විසින් ප්‍රධාන වෛද්‍යවරයෙකු වෙත ගම්වරයක් ප්‍රදානය කිරීම පිළිබඳ ව දැක්වෙන දෙවන දොරබාවිල ටැම් ලිපිය
පැරණි ආරෝග්‍යශාලාවන්හි සහ වෛද්‍ය මෙවලම් හා උපකරණ වල නටඹුන්
මිහින්තලේ,මැදිරිගිරිය,ආළාහණ පිරිවෙණ, ආදී ස්ථාන වලින් මෙම නෂ්ටාවශේෂ හමුවී තිබේ.ආරෝග්‍යශාලා
මහාවංශය දක්වන පරිදි ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා ඉදි කිරීම ක්‍රි.පූ.4 වන සියවසේ පණ්ඩුකාභය රජ සමය තරම් ඈත අතීතයකට දිවෙයි. ආරෝග්‍යශාලා ඉදි කිරීම පිළිබඳ අදහස පැහැදිලිවම බෞද්ධ සංකල්පයකි. මිහින්තලේ ආරාම සංකීර්ණයෙහි පිහිටුවා තිබූ ආරෝග්‍යශාලාවෙහි නටඹුන් වලට අනුව එය ලෝකයේ ප්‍රථම විධිමත් ආරෝග්‍යශාලාව වන බවට විශ්වාස කරයි. ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා පිළිබඳ තොරතුරු ලබා ගත හැකි වැදගත්ම මූලාශ්‍රය වන්නේ මහාවංශයයි. පැරණි ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා 1.ගෘහස්ථයන් සඳහා වන ආරෝග්‍යශාලා2.ආරාමිකයන් සඳහා වන ආරෝග්‍යශාලා වශයෙන් දෙවර්ගයක් යටතේ හඳුනා ගත හැකිය. මහාවංශයෙහි තොරතුරු දක්වන්නේ ගෘහස්ථයන් සඳහා වන ආරෝග්‍යශාලා පිහිටුවීම සම්බන්ධයෙන් පමණි. ආරාමිකයන් සඳහා ඉදි කළ ආරෝග්‍යශාලා පිළිබඳ තොරතුරු ටැම් ලිපි ආදී ශිලා ලේඛන මගින් ද අනුරාධපුර, පොළෙනේනරුව වැනි ප්‍රදේශයන් වලින් හමුවූ නටඹුන් මගින් ද හෙළිදරව් වේ.
ගෘහස්ථයන් සඳහා වන ආරෝග්‍යශාලා
රටේ ප්‍රධාන පුරවැසියා වූ රජුගේ මාළිඟාවට යාව "බෙහෙත් ගේ " නමින් ස්ථිර වෛද්‍යාගාරයක් පිහිටුවා තිබිණි. මේ පිළිවෙත මහනුවර රාජධානි සමය වන තුරු පැවතිණි. පොදු ජනතාවගේ ප්‍රයේජනය පිණිස ආරෝග්‍යශාලා පිහිටුවීම රාජානුග්‍රහය මත සිදුවිය. ඒවා රෝගීන්ට නැවතී ප්‍රතිකාර ලැබීමට සුදුසු පරිදි සැළසුම් කර තිබිණි. එනම් නැවතී සිටීම පිණිස සාදන ලද්දේ යයි සැළකෙන කුටි වටේට මැද මිදුලක් හා ඊට යාබද ව පිහිටි පොදු පහසුකම් සහිත කාමර වලින් වටවූ දෙවන මිදුලක් ලෙස සැළසුම් කර ඇත. විශේෂ සේවා ආරෝග්‍යශාලා ගණනාවක් ද පැරණි ශ්‍රී ලංකාවෙහි ඉදිකොට තිබිණි.මින් බොහොමයක් ඉදිකොට තිබුණේ අනුරාධපුර නගරයේය. බුද්ධදාස රජු (ක්‍රි.ව. 362-409) ධාතුසේන රජු (ක්‍රි.ව. 460-478) ii උපතිස්ස රජු (ක්‍රි.ව. 522-524) i උදය රජ (ක්‍රි.ව. 790-792) යන රජවරුන් ආබාධිත සහ කොර තැනැත්තන් සඳහා රෝහල් පිහිටුවා තිබේ. බුද්ධදාස ii උපතිස්ස යන රජවරුන් අන්ධ තැනැත්තන් සඳහා විශේෂ රෝහල් පිහිටුවා තිබේ. මුල්ම මාතෘ නිවාසය ඉදිකරන ලද්දේ ii උපතිස්ස රජු විසිනැයි සෙල් ලිපියක සඳහන් වේ.ආරාමිකයන් සඳහා වන ආරෝග්‍යශාලා
අනුරාධපුර, පොළොන්නරුව යන නගර ආශ්‍රිතව භික්ෂුන් වහන්සේ දෙදහසකට පමණ වාසය කළ හැකි ආරාම සංකීර්ණ පිහිටුවා තිබූ අතර ඒවායේ ආරෝග්‍යශාලා ද ඉදි කර තිබිණ. පැරණි ආරෝග්‍යශාලා වල නටඹුන් මෙතෙක් මතු කර ගැනීමට හැකිවී ඇත්තේ මිහින්තලේ,මැදිරිගිරිය,ආළාහණ පිරිවෙණ, ආදී ආරාම භූමි ප්‍රදේශ වලින් පමණි. මේ ස්ථාන වල තිබී සෙල් මුවා(ගලින් කරන ලද) බෙහෙත් ඔරු සහ වෛද්‍ය උපකරණ හමුවී තිබේ. මීට අමතරව මැදිරිගිරිය ආරාම සංකීර්ණයේ පිහිටි ආරෝග්‍යශාලාව සම්බන්ධ නීති රීති දක්වන සෙල් ලිපියක් ද එම භූමි ප්‍රදේශයෙන් හමු වී තිබේ.බෙහෙත් ඔරු සහ වෛද්‍ය උපකරණ
බෙහෙත් ඔරුව පැරණි වෛද්‍ය ක්‍රමයේ අපූර්ව නිර්මාණයකි. බෙහෙත් ඔරුවක් මුල් වරට සොයා ගත්තේ ඉතිහාසඥ එච්. සී. පී.බෙල් මහතා විසිනි. ඒ 1886 දී ථූපාරාම විහාර භූමිය ආශ්‍රිත නටඹුන් වලිනි. ඖෂධීය දියර බෙහෙත් ඔරුවෙහි බහා ඒ මත රෝගී පුද්ගලයා ගිල්වා කරන ප්‍රතිකාර විධිය "අවගාහන කායික චිකිත්සාව" ලෙස හැඳින්වේ. අනුරාධපුර,මිහින්තලේ,මැදිරිගිරිය,දීඝවාපිය ආදී ස්ථාන වලින් මෙම බෙහෙත් ඔරු හමුවී තිබේ. ඒවා නව වන සියවස තරම් ඈත අතීතයකට හිමිකම් කියයි. තවද බුද්ධඝෝෂ හිමියන් විසින් පස් වන සියවසේ දී සිංහලෙන් පාලි බසට පරිවර්තනය කරන ලද අටුවා ග්‍රන්ථයකට අනුව උණු දිය පුරවන ලද භාජනයක රෝගියෙකු බස්සවා එම උණු දියෙන් තවා කරන චිකිත්සා ක්‍රමයක් ගැන සඳහන් වේ. එනම් "නිමර්ජන චිකිත්සාව "ක්‍රි.පූ. 5 වන සියවස තරම් අතීතයේ සිට භාවිතා වී ඇත. තනි ගල් කුට්ටියකින් නිර්මාණය කරන ලද බෙහෙත් ඔරුව වූකලී,ශරීරයේ හැඩය හා අනුරූප වන පරිදි හෑරීමෙන් සකස් කර ඇත.ඔසු දියර ෑපරිම ලෙස පිරිමසා ගැනීම සඳහා අවම ඔසු දියර ප්‍රමාණයක මුළු සිරුරම ගිල්විය හැකි පරිදි ඔරුවේ ඇතුළු පැත්ත සකස් කර තිබේ. ශාක යුෂ,කිරි,ගිතෙල්,තෙල් වර්ග,විනාකිරි ආදිය යොදා ගනිමින් ඒ ඒ රෝගී තත්වයන් අනුව වෙනස් සංයෝග වලින් යුතු ඖෂධීය දියරයන් තනාගෙන තිබේ. මෙම චිකිත්සා ක්‍රමය චර්ම රෝග,වාත රක්තය,අර්ශස් සහ උණ වැනි රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගෙන තිබේ. බෙහෙත් ඔරු වලට අමතරව බෙහෙත් ඇඹරුම් ගල්, ගලින් සහ වානේ වලින් සෑදු කතුරු හා පිහි වැනි ශල්‍ය වෛද්‍ය උපකරණද නටඹුන් අතර තිබී හමුවී ඇත.
ඖෂධ වර්ග සහ චිකිත්සා ක්‍රම
ආයුර්වේදයේ භාවිතා වන ඖෂධ වර්ග වැඩි ගණනක ම මූලාශ්‍රය වන්නේ ශාකමය කොටස් ය. ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක පංචාංගය (මුල්,කොළ,පොතු,මල්,ඵල ) ඇසුරින් ඔෂධ නිපදවා තිබේ. ඔසු පැන්,යුෂ,තෛල,බෙහෙත් ගුලි,කල්ක,ආසව,කෂාය,අරිෂ්ඨ ආදී වශයෙන් ආයුර්වේදයේ ඖෂධ මාධ්‍යයන් භාවිතා වී තිබේ. ශාක ඖෂධ වලට අමතරව මී පැණි, සත්ව මූලාශ්‍ර වලින් නිපදවෙන ඖෂධ මෙන්ම විවිධ පාෂාණ වර්ගද ඖෂධ වශයෙන් භාවිතා කර තිබේ.ශ්‍රී ලංකාවේ ද ඔසු උයන් පවත්වා ගෙන ගොස් ඇති අතර මෙරට නොවැඩෙන ඖෂධ වර්ග ආනයනය කර තිබේ. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව,චිකිත්සා ක්‍රම,ස්වස්ථතාව පවත්වා ගෙන යාමේ ක්‍රම,සහ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ මධ්‍යස්ථානයක් තිබූ බව රිටිගල නටඹුන් ඇසුරින් පෙනේ. චිකිත්සා ක්‍රම සළකා බලන විට ඖෂධ පානය කිරීම පමණක් නොව ඖෂධීය තෙල් ගැල්වීම,සම්බාහනය,නස්‍ය කිරීම,සැත්කම් ආදිය සිදු කර තිබේ. මීට අමතරව දෛනික ව්‍යායාම්,යෝග හා භාවනා ක්‍රම ද ආහාර චර්යාවන් ද ප්‍රතිකාර ක්‍රම සමඟ බැඳී පැවතිණි.
Post a Comment Blogger Disqus