GuidePedia

0

මහනුවර යුගයේ චිත්‍ර උඩරට චිත්‍ර නමින් ද හැඳින්වේ. අතීතයේ දී උඩුනුවර යටිනුවර දුම්බර හේවාහැට හාරිස්පත්තුව යන ප්‍රදේශවල ව්‍යාප්තව පැවති උඩරට රාජධානිය වත්මන් මහනුවර කේන්ද්‍ර කර ගත්තකි. 1වන විමලධර්මසූරිය රජු ගෙන් ඇරඹි යුගය ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගෙන් නිම වෙයි .මහනුවරචිත්‍ර කලාව බුදු සමය සමඟ අත්වැල් බැඳගෙන පෝෂණය වූවකි.අසරණ සරණ සරණංකර හිමියන්ගේ දායකත්වය නිසා පිරිහෙමින් පැවති මහනුවර කලාවට නව පණ ලැබුණි.කීර්ති ශ්‍රි රාජසිංහ රාජ සමය්දී උපසම්පදා කර්මය යළි පිහිටුවීමෙන් පසු විහාර කර්මාන්තය ‍මෙන්ම එහි සිතුවම් කලාව ද වර්ධනය විය.කලාවේ උන්නතිය සදහා 1වන විමලධර්මසූරිය(ක්‍රි.ව.1592-1604)සෙනරත් රජ(ක්‍රි.ව.1604-1635) 2වන රාජසිංහ (ක්‍රි.ව.1634-1684)2වන විමලධර්මසූරිය (ක්‍රි.ව.1686-1705)ශ්‍රි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1705-1738) ශ්‍රි විජය රාජසිංහ (ක්‍රි.ව.1738-1746)කීර්ති ශ්‍රි රාජසිංහ (ක්‍රි.ව.1746-1799)යන රජවරුන්ගේ දායකත්වය නොමඳව ලැබුණි.

විහාර චිත්‍ර



මහනුවර චිත්‍ර දක්නට ලැබෙන ස්ථාන අතර ලෙන් විහාර හා ටැම්පිට විහාරවලට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ.ලෙන්හි අඳිනු ලබන චිත්‍ර ලෙන් විහාර චිත්‍ර ලෙස හැඳින්වේ.මේවා භික්ෂූන්ගේ වාසය සඳහා සකස් කළ ස්වභාවික ගල් ලෙන්ය.මහනුවර යුගයේ ප්‍රකට ලෙන් විහාර කිහිපයක් තිබේ රිදීවිහාරය,දෙගල්දොරුව,දනගිරිගල,දඹුල්ල, අලුවිහාරය ඒ අතර ප්‍රකට ය.ටැම්පිට විහාර අඩි හයක් පමණ උසට ගල් කණු සිටුවා ඒ මත මෙ‍ම විහාර ගොඩනංවා තිබේ.පොළව හාරා සිටවූ ගල් කණු මත විහාර ඉදිකරනු ලැබුවේ වේයන්ගෙන් චිත්‍ර ආරක්ෂා කර ගැනීම ට යැයි ඇතමෙක් කියති.මැදවලවිහාරය,දන්තුරේ විහාරය ප්‍රකට ටැම්පිට විහාරයන්ය. සූරියගොඩ, දෙවනගල, හිඟුල, දැඹව,විලයාය ප්‍රදේශ වල ද ටැම්පිට විහාර දක්නට ලැබේ.

සැරසිලි මෝස්තර


මහනුවර චිත්‍ර කලාවේ වැදගත් ලක්ෂණයකි.නුවර යුගයේ දී තිරිඟිතලය මූලික කර ගෙන මෝස්තර යෙදීම දක්නට ලැබේ.මධ්‍යකාලීන සිංහල කලා කෘතියෙහි දැක්වෙන පරිදි මහනුවර යුගයේ සැරසිලි මෝස්තර සතර වර්ගයකි.දිව්‍ය-සත්ව-වෘක්ෂ හා නිර්ජීව යනු‍වෙනි.දිව්‍ය යන්නට හිරැ,සඳු අයත්ය. හිරු සදු නොනැසී පැවැතීමේ සංකේතයයි. හිරුගෙන් ප්‍රතාපවත් බව ද සඳුගෙන් සෞම්‍ය බව ද විදහා දැක්විණ.මවාගත් සතුන් වන භේරුණ්ඩ-මකර-ගජසිංහ-ඇත්කඳළිහිණි-කිඳුරු-සරපෙන්දිරූප ද සිංහ-නාග -හංස-සැවුල්-මත්ස්‍ය-ඇත්-ගව-අශ්ව-ඇත් රූප සත්ව යන්නටඅයත්ය.සීන-කඩුපුල්-නාරිලතා-පරසතු-පිච්ච-වැටකේ-ඇසළ-සපු-අනනාසි-ලියවැල-පළාපෙති-මහනෙල්මල-බිනර මල යන මෝස්තර සටහන් උද්භිත ගණයෙහිලා ගැනේ.අරිම්බුව-කුන්දිරික්කම්-පනාව-තනි පොට ලණුව-දෙපොට ලණුව-සුළිය-සුළි දෙක-හවඩිය ආදී ජ්‍යාමිතික මෝස්තර සටහන් නිර්ජීව යනුවෙන් දක්වා ඇත.

ශිල්පීය උපක්‍රම


මෙකල ශිල්පීන් යොදාගත් ශිල්පීය ධර්ම විශේෂ වූවකි.බිත්තිවල චිත්‍ර ඇඳීමට යෝග්‍ය පරිදි බදාම පිළියෙළ කිරීමෙන් චිත්‍රවල කල් පැවැත්ම අපේක්ෂා කරන ලදී. බදාමය හුණු හා කහට පොතු දියර සමඟ මිශ්‍ර කිරීම එක් උපක්‍රමයකි.පොල් කෙදි,අරලු කහට ඇසතු බෝ පොතු සිහින්ව ලියා කොටා ගත් මිශ්‍රණයට අරලු හා ජලය එක්කර බදාම තැනීමට අවශ්‍ය ජලය සපයා ගැනීම ද සිදු කරන ලදී.කැටයම් සඳහා බදාම සකස් කිරීම වෙනත් ස්වරූපයකින් දක්නට ලැබුණි.
වර්ණ සකස් කිරීමේදී ද ස්වභාවික වර්ණ භාවිත කරන ලදී.සුදුපැහැය සකසා ගනු ලැබුවේ මකුළු නමින් හැඳින්වෙන පොළවෙන් ලබාගත් පස් වි‍ශේෂයකිනි.පොල්කටු අඟුරු සියුම්ව කුඩුකර හලා ගැනී‍මෙන් කලු පැහැය ලබාගැණින.ගුරුගල් සියුම්ව කුඩුකර හලා ගැනීමෙන් රතු වර්ණය ලැබුණි. මේ හැරුණුවිට සාදිලිංගම් රතු පැහැය ඉන්දියාවෙන් ‍ලබාගෙන තිබේ.ගොකටු ගසේ කිරිවලින් කහ පැහැයද නිල් ඇවරිය කොළ යුෂ උණුකිරීමෙන් නිල් පැහැයත් අගුණ රණවරා, මිදෙල්ල කොළ යුෂ යොදා ගැනීමෙන්කොළ පැහැයත් ලබා ගන්නා ලදී.දිවුල් ලාටු මිශ්‍ර කිරීමෙන්වර්ණ ස්ථාවරත්වය අපේක්ෂා කළහ.ටැම් හා ගොඩනැගිලි චිත්‍ර සඳහා දිය සායම් භාවිත කළ අතර වර්ණ ප්‍රබේද ලබා ගැනීමට සුදු-කළු වර්ණ භාවිත කළහ.
තෙතමනයෙන් චිත්‍ර ආරක්ෂා කිරීමට යොදාගත් සාර්ථක උපක්‍රමය වූයේ චිත්‍ර මත වලිත්ති ආලේප කිරීමයි.චිත්‍ර අලංකාර කිරීමට ද මෙය ප්‍රයෝජනවත් විය.වලිත්ති සකස් කිරීමට අනුගමනය කළ ක්‍රම කිහිපයකි.පිරිසිඳු දුම්මල කුඩු දොරණ තෙල් සමඟ මිශ්‍ර කර නිවෙන්නට හැර වාර කිහිපයක් පෙරා ගැනීම,ගොකටු සායම් වලිත්තියක් ලෙස භාවිත කිරීම,කැප්පෙට්ටිය කොළ වලිත්තියක් ලෙස සිහින්ව ආලේප කිරීම ද සිදු කරන ලදී.
චිත්‍ර ඇඳීමේදී පින්සල් සඳහා විවිධ මාධ්‍ය භාවිත විය.සත්ව ලෝම තෘණ වර්ග එහීදී මූලික විය.මෘදු බවින් යුතු ලේන ලොම් හා බළල් ලොම් යොදාගනීම සියුම් රේඛා කර්මයට හේතු විය.වැටකෙයියා මුල්, ‍තෙලි තණ හා තුත්තිරි කෙඳි ද පින්සල් සඳහා යොදා ගනු ලැබිණ.

චිත්‍ර ශිල්පීන්


නුවර යුගයේ චිත්‍ර ශිල්පීහු කොට්ටල්බද්ද කාර්මික ‍ශ්‍රේ ණියට අයත් වූවෝ වෙති.නුවර යුගයේ සිතුවම් කලාව ගොඩනැංවීමට මොවුහු සෘජුවම දායක වී තිබේ.දෙවරගම්පල සිල්වත්තැන ,දේවේන්ද්‍ර මුලවාරියා මහනුවර සිත්තර පරම්පරාවට අයත්ය.එල්.ටී.පී.මංජු ශ්‍රී ගේ අදහසට අනුව දේවේන්ද්‍ර මුලවාරියා දෙවිනුවර සිත්තර පරම්පරාවේ කෙනෙකි.නීලගම පටබැන්දා,කොස්වත්තේ සිත්තර න‍යිදේ හා දෙවරගම්පල සිල්වත් තැන දෙගල්දොරු චිත්‍ර ශිල්පීන්ය.දෙවරගම්පල සිල්වත් තැන කීර්ති ශ්‍රී රාජසිංහ රජුට සේවය කළේය.ඹහු නායක්කර් වංශික ශිල්පීන්ද මැනවින් ඇසුරු කළ අයෙකි.නයිදේ පරම්පරාවට අයත් කොළඹ නයිදේ දෙවන රාජ‍සිංහ රජුට සේවය කළේය.මද්දුම නයිදේ ,දෙවන විමලධර්මසුරිය රාජ සමයේ විසූවෙකි.ගල්ලෙන් නයිදේ නරේන්ද්‍රසිංහ රජුට සේවය කළේය.උල්ලඳුපිටියේ සිත්තරා,ගන්නොරුවේ නවරත්න දණ්ඩයා,මංගලගම නීලවල මුහන්දිරම්,සේරුගොල්ලේ සිත්තර නයිදේ,පල්ලේකුඹුර උන්නාන්සේ ද මෙකල විසූ චිත්‍ර ශිල්පීන්ය.මෙකල දකුණු ප්‍රදේශයේ විසූ භිමප්පු ගුරුන්නාන්සේ වැලිතර පරම්පරාවේ අයෙකි. සෝලියස් මෙන්දිස් ද වැලිතර පරම්පරාවේ සිත්තරෙකු‍ගේ ගෝලයෙකි. කඩොල්ගල්ලේ සිත්තර පරම්පරාව විසින් කතලුවේ පූර්වාරාම විහාර බිතුසිතුවම් අඳින ලදී.මෙකල විසූ සෙසු ශිල්පීන් නම් බැද්දෙවත්තේ දිනෝ සිත්තරා ,ගරා ඬුවේ මහ සිත්තරා,ගාලුපියද්දේ බබුන් ,කිරින්දේ ශීලානන්ද හිමි ,බිබිලේ සිත්තර නයිදේ,චන්ද්‍රසේකර දේවපතිදේවනාරායන බුවනෙකබාහු සිත්තර නයිදේ යන චිත්‍ර ශිල්පීන් ය.

මහනුවර යුගයේ චිත්‍රවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ


මහනුවර යුගයේ චිත්‍ර ශිල්පියා තම නිර්මාණ සඳහා ජාතක කතා පදනම් කරගෙන තිබේ.දිව්‍යලෝක දර්ශන අපාය දර්ශන නිරූපණය කිරීමෙන් මිනිසා පිනට නැඹුරුකරවීමත් පවට බිය වැද්දීමත් අපේක්ෂා කරන ලදී.මාර පරාජය,සූවිසි විවරණ ,සත් සතිය,පසේ බුදුවරු,අටමස්ථාන ආදිය නිරූපණයෙන් පෙනෙන්නේ නුවර චිත්‍රවල පැවති ‍බෞද්ධ ආභාසයයි.
මෝස්තරකරණයේදී සංකේත භාවිතයක් දක්නට ලැබේ.නෙළුම් මල නිවනේ හා පවිත්‍රත්වයේ සංකේතයයි.කඩුපුල් මල කල්ප වෘක්ෂ මෝස්තර මඟින් දෙව්ලොව නිරූපණය වෙයි.සූර්ය-චන්ද්‍ර සටහන් සථිරත්වයේ සංකේත වෙයි. නාගරුව ආරක්ෂාවේ සංකේතය වශයෙන් ද මත්ස්‍ය හා වෘක්ෂ සටහන් මංගල ලක්ෂණ වශයෙන් ද තවදුරටත්යොදාගනු ලැබීය.ප්‍රෙහේළිකා චිත්‍ර මඟින් විස්මය දැනවෙයි.හාස්‍ය රසයත් භයානක රසයත් ලබාදෙන චිත්‍ර මහනුවර සම්ප්‍රදායෙහි හිඟ නොවේ.විනෝද ජවනිකා මෙන්ම ජ්‍යොතිෂය ද අන්තර්ගත ජන ජීවිතය‍ට වඩාත් සමීප චිත්‍ර කලාවකි .
පුස්කොළ පොතක තීරු මෙන් වමේ සිට දකුණට දකුණට කතා ශරීරය ගලායන ආකාරයෙන් චිත්‍ර නිමවා ඇත.පාදමේ රේඛාව මත පිහිටුවා හැඩ ගැලපීම සිදු කරයි.බාහිර රේඛා යොදා ගනු ලැබිණ.කලුවන් රාමුවක පැතලි වර්ණාලේප භාවිත කර තිබේ.ගැඹුරු ප්‍රකාශන ඉරියව් මෙම චිත්‍රවල දක්නට නැත. මෙම චිත්‍ර තාත්විකත්වයෙන් බැහැර වූයේ සිත් බඳනා පරිදි කතාවක් කීම අරමුණු කර ගත් නිසා විය යුතුය.පරිමාණය ගැන නොසලකා තිබේ.වර්ණ භාවිතයේදී කහ රතු දුඹුරු පැහැයන් බහුලව යොදා ගන්නා ලදී. සිද්ධි එකිනෙක වෙන් කිරීම සඳහා රූප භාවිතා කරන ලදී.හිස් ඉඩ වැසීම සඳහා චිත්‍ර මෝස්තර යළි යළිත් යොදා ගනු ලැබිණ.නෙළුම් මල් කඩුපුල් මල් සීන මල් වැටකේ මල් කොළ ඉති ආදිය ඒ සඳහා යොදා ගන්නා ලදී.
සමකාලීන වෙනත් රටවල චිත්‍රකලාවන්හි ආභාසයද මහනුවර යුගයේ චිත්‍රවල දක්නට ලැබේ.සියම් බුදුපිළිමවල තිබූ සිරස්පත කේතුමාලාව ලංකාවේ බුදුපිළිමවල දක්නට ලැබේ.නාරිලතා ලියපත්‍ර ආදී මෝස්තර රටාවන්හි සියම් බලපෑම දක්නට ඇත.තීරුවකින් කතා නිරූපණ‍‍ ශෛලිය, චිත්‍ර පාදමෙහි සුදු වෙනුවට කළු තීරුවකින් වෙන් කිරීම, බුරු‍ම චිත්‍රවල දක්නට ලැබේ. මහනුවර යුගයේ චිත්‍රවල ඇති ඉන්දීය බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වන කොටගම වාචිස්සර හිමිගේ අදහස නම් නායක්කර් වංශිකයන් සමඟ පැවැත්වූ සමීප සම්බන්ධතා හේතුවෙන් එකී ශිල්පීය ආරයන්ගෙන් මහනුවර කලාව පෝෂණය වූ බවයි. මහනුවර යුගයේ චිත්‍ර ලක්දිව චිත්‍ර කලාවේ වැදගත් සංදිස්ථානයකි.දුෂ්කරතා මධ්‍යයේ කළ කාර්යයක් බැවින් මහනුවර යුගයේ චිත්‍ර අගය කළ හැකිය.


මූලාශ්‍ර


  • පී.උල්ලුවිස්සහේවා, උඩරට සිතුවම් මග, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,2001.
  • ආනන්ද කුමාරස්වාමි, මධ්‍යකාලීන සිංහල කලා,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.1962.







Post a Comment Blogger Disqus

 
Top